'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව මාස 7කට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා වූ දුම්රිය ධාවන කටයුතු අද (20) උදෑසන සිට සුවිශේෂී අන්දමින් නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සහ ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු (නානුඔය) දනුෂ්ක මහතා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 9:00ට නානුඔය දුම්රිය ස්ථානයෙන් මෙම ධාවන කටයුතු නිල වශයෙන් ඇරඹුණි.
🛠️ පැරකුම්පුර නායගිය ස්ථානය සම්පූර්ණයෙන්ම පිළිසකර කෙරේ
කුණාටු තත්ත්වයත් සමඟ මාර්ගයට එල්ල වූ බාධා හේතුවෙන් මෙතෙක් කල් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා වී තිබුණේ අඹේවෙළ සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර පමණි. අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි පැරකුම්පුර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය දැඩි ලෙස නායයෑමකට ලක්වීම මීට ප්‍රධානතම හේතුව විය.
කෙසේ වුවද, දුම්රිය මාර්ග ඉංජිනේරුවන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය (NBRO) සහ පෞද්ගලික ආයතනයක් එක්ව අදාළ නායගිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කිරීමෙන් පසු, මෙලෙස 'පොඩි මැණිකේ' දුම්රිය අද දින නානුඔය දුම්රිය ස්ථානයෙන් සිය ගමනාන්තය බලා පිටත්ව ගියේය.
🗺️ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් නානුඔය පිරී ඉතිරී යයි
නානුඔය දුම්රිය ස්ථානයේදී පැවැත්වුණු ආගමික වතාවත්වලින් අනතුරුව දුම්රිය ධාවනය ඇරඹුණු අතර, මාස 7කට පසු උඩරට සුන්දරත්වය විඳගැනීම සඳහා විශාල ජනකායක් එක්රැස්ව සිටියහ.
විශේෂයෙන්ම, පොඩි මැණිකේ දුම්රියෙන් සුප්‍රසිද්ධ ඇල්ල සහ බදුල්ල දක්වා සුන්දර කඳුකර දුම්රිය සංචාරයක නිරත වීම සඳහා අතිවිශාල දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් පිරිසක් අද උදෑසන නානුඔය දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටීම කැපී පෙනෙන දසුනක් විය.
මෙම මාර්ගය යළි විවෘත වීමත් සමඟ කඳුකරයේ සංචාරක කර්මාන්තයට ද නව පණක් ලැබෙනු ඇතැයි ක්ෂේත්‍රයේ නිරතවූවෝ විශ්වාසය පළ කරති.

0 Comments