බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකදී කාන්තාවන් ඉලක්ක කර ගනිමින් සිදුකළ රන්මාල කොල්ලකෑම් මාලාවක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහරගම, හෝමාගම, මීගොඩ, මිරිහාන, කොට්ටාව සහ මාලඹේ යන ප්‍රදේශවලින් පසුගිය කාලසීමාව පුරා රන්මාල කොල්ලකෑම් පිළිබඳව පැමිණිලි රැසක් ලැබී තිබිණි. 

එම පැමිණිලි ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී සොරකම් කරන ලද යතුරුපැදි දෙකක්, රුපියල් ලක්ෂ 80කට අධික වටිනාකමකින් යුත් රන්මාල 18ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 800ක ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකදීම මොහු මෙම අපරාධ සිදුකර ඇති බවයි. 

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බවද පොලිසිය පවසයි.