උතුරු චීනයේ ෂැන්සි (Shanxi) ප්‍රාන්තයේ 'ලියුෂෙන්යු' ගල්අඟුරු පතලක සිදු වූ දරුණු ගෑස් පිපිරීමකින් පුද්ගලයන් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කර තිබේ.
මෙය 2009 වසරෙන් පසු චීනය මුහුණ දුන් දරුණුතම පතල් ව්‍යසනය ලෙස වාර්තා වේ.
අනතුර සිදු වූ මුල් අවස්ථාවේදී මියගිය සංඛ්‍යාව 90ක් බව වාර්තා වුවද, පසුගිය සෙනසුරාදා රාත්‍රියේ බලධාරීන් එම සංඛ්‍යාව 82ක් ලෙස සංශෝධනය කළේය.
මුල් අවස්ථාවේ පැවති දැඩි අවුල් සහගත ස්වභාවය නිසා සේවකයින් නිවැරදිව ගණනය කිරීමට නොහැකි වීමෙන් එම වැරදි දත්ත පළ වූ බව පවසමින් බලධාරීන් ජනතාවගෙන් සමාව අයැද සිටියේය. තවත් පුද්ගලයන් දෙදෙනෙකු තවමත් අතුරුදන්ව පවතී.
"මිනිස්සු එකා පිට එකා වැටෙනවා මම දැක්කා" - කම්කරුවෙකුගේ බියකරු අත්දැකීම
අනතුරින් දිවි ගලවා ගත් 'වෑන්ග් යොන්ග්' නම් කම්කරුවා පවසන්නේ තමාට කිසිදු පිපිරුම් හඬක් ඇසුණේ නැති වුවද, ක්ෂණයකින් මුළු ප්‍රදේශයම දුමාරයෙන් වැසී ගිය බවයි.
"මට දැනුණේ ගෙන්දගම් (Sulphur) ගඳක්. මිනිස්සුන්ට දුවන්න කියලා මම කෑ ගැහුවා. දුවන අතරතුරේ මිනිස්සු විෂ දුමාරය නිසා සිහිසුන්ව ඇද වැටෙනවා මම දැක්කා. මටත් සිහිය නැති වුණා," යැයි ඔහු පවසා තිබේ.
පැයකට පමණ පසු සිහිය ලැබූ ඔහු තවත් සගයෙකු සමඟ පතලෙන් පිටතට පැමිණ ඇත.
පිපිරීම සිදුවන අවස්ථාවේ සේවකයින් 247 දෙනෙකු රාජකාරියේ සිටි අතර, 128 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍යයි. රෝහල්ගත කළ පිරිසෙන් බහුතරයක් විෂ වායු ආශ්වාස කිරීම නිසා රෝගාතුර වී ඇත.
පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ පතල තුළ අධික ලෙස විෂ සහිත 'කාබන් මොනොක්සයිඩ්' වායුව පිරී තිබූ බවයි.
විශේෂත්වය වන්නේ, මෙම පතල 2024 වසරේදී "බරපතල ආරක්ෂක අවදානම් සහිත ස්ථානයක්" ලෙස නම් කර තිබීමයි.
එමෙන්ම පතල පවත්වාගෙන යන 'ටොංෂෝ සමූහය' (Tongzhou Group) 2025 වසරේදී පමණක් ආරක්ෂක නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දෙවතාවක් දඩුවම් ලබා තිබුණි.
චීන හදිසි කළමනාකරණ අමාත්‍යාංශය විසින් පුද්ගලයන් 345 දෙනෙකු සහන සේවා සඳහා යොදවා ඇතත්, ඔවුන්ට දැඩි බාධා එල්ල වී තිබේ.
පතල තුළ ජලය පිරී තිබීම සහ පතල් සමාගම ලබා දුන් සිතියම් (Blueprints) සැබෑ පතල සමඟ නොගැලපීම මීට ප්‍රධාන හේතු වී ඇත.
චීන ජනාධිපති ෂී ජින්පින්ග් අවධාරණය කර ඇත්තේ තුවාලකරුවන් බේරා ගැනීමට සහ අතුරුදන් වූවන් සෙවීමට උපරිම ශක්තිය යොදවන ලෙසයි. සිද්ධිය සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් පවත්වා වගකිවයුතු නිලධාරීන්ට "උපරිම දඬුවම්" ලබා දෙන බව චීන රාජ්‍ය සභාව පවසයි.
දැනටමත් පතල් කළමනාකාරීත්වයේ කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ලෝකයේ වැඩිම ගල්අඟුරු පරිභෝජනය කරන රට චීනය වන අතර, ෂැන්සි ප්‍රාන්තය එරට ගල්අඟුරු අවශ්‍යතාවයෙන් හතරෙන් එකකට වඩා සම්පූර්ණ කරයි.
මෑත වසරවල ආරක්ෂක නීති දැඩි කළද, මෙවැනි අනතුරු තවමත් වාර්තා වේ.
2023 වසරේදී මොංගෝලියාවේ පතල් අනතුරකින් 53ක් ද, 2009 දී හෙයිලොන්ජියැන්ග්හිදී 100කට වැඩි පිරිසක් ද මියගොස් තිබුණි.
මෙම ව්‍යසනය සිදුවූයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීනයේ සිදු කළ නිල සංචාරයන් අවසන් වී දින කිහිපයකට පසුව වීම ද විශේෂත්වයකි.
.png)
0 Comments