රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමෙන් ලෝකයේම 02 වැනි ස්ථානයට !

Rumesh Tharanga wins world number 2 rank in javelin throw World Athletics Sri Lanka

 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රය පෙරළිකාරී ලෙස ජාත්‍යන්තරය හමුවට රැගෙන යමින්, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකයේ දෙවැනි ස්ථානය (World No. 2) දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග අද (17) සමත්ව තිබේ.

ලෝක මලල ක්‍රීඩා සංගමය (World Athletics) විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද නවතම ගෝලීය ශ්‍රේණිගත කිරීම් වාර්තාවලට අනුව රුමේෂ් මෙම ඓතිහාසික ජයග්‍රහණය සනිටුහන් කර ඇත.

මීට පෙර ඔහු පසුවූයේ මෙම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 03 වැනි ස්ථානයේය.

චෙක් ජනරජයේ පැවැති ලෝක ප්‍රකට 'ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික්' (Ostrava Golden Spike) මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගී වූ රුමේෂ් තරංග, එහිදී විශිෂ්ට දක්ෂතා දක්වමින් ප්‍රථම ස්ථානය සහ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

ඊයේ (16) දින පැවැති මෙම තේජාන්විත තරගාවලියේදී ඔහු දැක්වූ අතිදැවැන්ත දක්ෂතාවය හේතුවෙන් සමස්ත මලල ක්‍රීඩා ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු කරවා ගැනීමට ඔහුට හැකි විය. 

එමෙන්ම මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ ඔහුගේ සමස්ත ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 1,333ක් දක්වා ඉහළ ගියේය.


* ඇන්ඩර්සන් පීටර්ස් පරදවමින් පෙරමුණට

මීට පෙර පැවැති ලෝක ශ්‍රේණිගත කිරීම් දෙස බැලීමේදී, රුමේෂ් තරංග පසුවූයේ එවකට ලෝකයේ දෙවැනි ස්ථානයේ රැඳී සිටි ග්‍රෙනඩා රාජ්‍යයේ සුපිරි ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස්ට වඩා ලකුණු 2ක ඉතා සුළු පරතරයකින් පසුපසිනි. 

එවකට ඇන්ඩර්සන් පීටර්ස් ලකුණු 1,326ක් ලබා සිටියේය.

කෙසේ වුවද, ඊයේ චෙක් ජනරජයේදී රුමේෂ් ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු වේගයෙන් ඉහළ ගිය අතර, ඒ අනුව ඇන්ඩර්සන් පීටර්ස් සතු වූ දෙවැනි ස්ථානය තමන් සතු කර ගැනීමට රුමේෂ් තරංගට හැකි විය.


*  ලෝකයේ අංක එකේ ස්ථානය තවමත් ජර්මනියට

ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම දත්තවලට අනුව, හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය තවදුරටත් රැක ගැනීමට ජර්මානු ජාතික සුපිරි ක්‍රීඩක ජූලියන් වෙබර් (Julian Weber) සමත්ව ඇත. 

ඔහු දැනට ප්‍රසාද ලකුණු 1,360ක් ලබා ගනිමින් පෙරමුණේ පසුවෙයි.

කෙසේ වුවද, රුමේෂ් තරංග වර්තමානයේ පෙන්වන ඉහළ දක්ෂතා සහ ජාත්‍යන්තර තරග රටාව අනුව, ඉදිරි තරගාවලි කිහිපය ඇතුළත ජර්මානු ක්‍රීඩකයා ද අභිබවා යමින් ලෝකයේ අංක 01 ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට මාරම ලොකු අවස්ථාවක් පවතින බව ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.

Post a Comment

0 Comments