ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වන මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (19) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේදී කැඳවනු ලැබීය.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිද්ධියට අදාළ විශේෂ කරුණු කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මරණය සිදු වූ ස්ථානය මෙන්ම ඔහු පදිංචිව සිටි අනෙක් නිවස යන ස්ථාන දෙකෙහිම සවි කර තිබූ අභ්‍යන්තර CCTV කැමරා පද්ධතිවල කිසිදු දර්ශනයක් පටිගත වී නොමැති බවයි.
මැයි 05 වනදා සිට මැයි 07 වනදා දක්වා කාලය තුළ කිසිදු බාහිර පුද්ගලයෙකු නිවසට පැමිණ නොමැති බව පිටත කැමරා දර්ශනවලින් තහවුරු වී ඇත.
අභ්‍යන්තර දර්ශන පටිගත නොවීම හේතුවෙන්, අදාළ DVR යන්ත්‍ර දෙක වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මරණය සිදු වූ පරිශ්‍රය පරික්ෂා කිරීමේදී හඳුනා නොගත් ඖෂධ වර්ග දෙකකට අයත් පෙති කිහිපයක් හමු වූ බව පොලිසිය පැවසීය.
එක් වර්ගයකින් පෙති 09ක් සහ අනෙක් වර්ගයෙන් පෙති 11ක් වශයෙන් සොයාගත් මෙම ඖෂධ ද විද්‍යාත්මක පරීක්ෂණ සඳහා රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත.
මරණකරු වෙනුවෙන් මීට පෙර ඇප තබා තිබූ, දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පුද්ගලයන් දෙදෙනාගෙන් මෙතෙක් ප්‍රකාශ සටහන් කර නොගැනීම පිළිබඳව මහෙස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කළේය.
"සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන්නේ නම් ඔවුන්ගෙන් කටඋත්තර ලබා ගැනීම වඩාත් පහසු කාර්යයක්" බව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

0 Comments