ලෝකෙන්ම 04 වෙනි තැන ලංකාවට!




ඩිජිටල් මූල්‍ය සේවා සපයන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Remitly විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ගෝලීය සංක්‍රමණ දර්ශකයට (Immigration Index) අනුව, පවුල් වශයෙන් පදිංචි වීම සඳහා ලොව වඩාත්ම සුදුසු රටවල් අතර සිව්වන (04) ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ලොව පුරා රටවල් 82ක් ආවරණය වන පරිදි සිදුකර ඇති මෙම පර්යේෂණය සඳහා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, දරුවන් රැකබලා ගැනීමේ පිරිවැය (childcare costs), පොදු ප්‍රවාහන සේවාවල කාර්යක්ෂමතාව සහ දෙමාපියන් වෙනුවෙන් හිමිවන නිවාඩු ප්‍රතිපත්ති ඇතුළු ප්‍රධාන සාධක 34ක් උපයෝගී කරගෙන ඇත.

මෙහිදී ශ්‍රී ලංකාව ඉහළින්ම රැඳී සිටීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දරුවන් රැකබලා ගැනීම සඳහා වැයවන පිරිවැය සාපේක්ෂව ඉතා අවම මට්ටමක පැවතීමයි.

පසුගිය 2025 වසරේදීද Conde' Nast Traveler සඟරාව විසින් Remitly සංක්‍රමණ දර්ශකය උපුටා දක්වමින් ශ්‍රී ලංකාව ලොව පවුල් සඳහා වඩාත්ම හිතකාමී රට ලෙස නම් කර තිබුණි. 

2025 වසරේ එම දර්ශකයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබූ අතර, මෙවර 2026 දර්ශකයේදී ලංකාව සිව්වන ස්ථානය දක්වා පැමිණ ඇත.
මෙම වසරේ සමස්ත දර්ශකයේ මුල් ස්ථාන 03 පිළිවෙළින් මෙසේය,

(01) වන ස්ථානය - ස්පාඤ්ඤය: දරුවන් රැකබලා ගැනීමේ දැරිය හැකි පිරිවැය සහ දෙමාපියන් සඳහා ලබාදෙන පුළුල් නිවාඩු වරප්‍රසාද හේතුවෙන්

(02) වන ස්ථානය - චීනය: අධ්‍යාපන යටිතල පහසුකම් සංවර්ධනය සහ ජාත්‍යන්තර පාසල් ජාලය පුළුල් කිරීම හේතුවෙන්

(03) වන ස්ථානය - ඇමරිකා එක්සත් ජනපදය: ජාත්‍යන්තර පාසල් තෝරා ගැනීමේදී පවතින ඉහළ විවිධත්වය හේතුවෙන්

රටවල් 82ක් ඇගයීමට ලක් කරමින් සකස් කළ මෙම දර්ශකය පිළිබඳ වැඩිදුර විස්තර සහ ගෝලීය ප්‍රතිඵල Remitly ආයතනයේ නිල වෙබ් අඩවිය (remitly.com) වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

Post a Comment

0 Comments