ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාහන මිලදී ගැනීම් සඳහා ලබාදෙන ණය සහ ලීසිං පහසුකම් (Credit Facilities) සම්බන්ධයෙන් පවතින නියාමනයන් සංශෝධනය කරමින් නව නියෝග මාලාවක් නිකුත් කර තිබේ.

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නව නියෝග 2026 මැයි 25 වන දින සිට ක්‍රියාත්මක වේ. 

මෙමගින් මීට පෙර ක්‍රියාත්මක වූ 2025 අංක 03 දරන මහ බැංකු නියෝගය අහෝසි කෙරේ. 

මෙම නව නියාමනයන් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම් (LFCs) සහ ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන (RFLEs) සඳහා අදාළ වේ.


කාණ්ඩ අනුව ලබාගත හැකි උපරිම ණය සීමාවන් (LTV Ratios):

නව සංශෝධනයට අනුව වාහන සඳහා ලබාදෙන උපරිම ණය-වටිනාකම් අනුපාතයන් පහත පරිදි වේ:

* ලියාපදිංචි කර වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන: එවැනි ඕනෑම වාහනයක් සඳහා ලබාගත හැකි උපරිම ණය මුදල එම වාහනයේ වෙළඳපොළ වටිනාකමෙන් 60% කි.

* ලියාපදිංචි නොවූ (Unregistered) වාණිජ වාහන: සැහැල්ලු ට්‍රක් රථ සහ සිංගල් කැබ් රථ ඇතුළු වාණිජ වාහන සඳහා උපරිම ණය සීමාව 60% කි.

* මෝටර් රථ, SUV සහ වෑන් රථ: පුද්ගලික භාවිතය සඳහා වන මෝටර් රථ, SUV සහ වෑන් රථ සඳහා ලබාගත හැකි උපරිම ණය සීමාව 40% දක්වා සීමා කර ඇත.


වෙළඳපොළ වටිනාකම තීරණය කරන්නේ කොහොමද?

ණය පහසුකම් ලබා දීමේදී වාහනයේ නිවැරදි වෙළඳපොළ වටිනාකම (Market Value) තක්සේරු කිරීම සඳහා මහ බැංකුව පහත ක්‍රමවේද අනුමත කර ඇත:

* Brand New වාහන: බලයලත් නියෝජිත ආයතනය මගින් සහතික කරන ලද වටිනාකම

* Reconditioned වාහන: රේගු නිෂ්කාශන ලේඛනවල දැක්වෙන වටිනාකම හෝ අදාළ අලෙවිකරු විසින් නිකුත් කළ ඉන්වොයිස් වටිනාකම

* භාවිත කළ වාහන: පිළිගත් වෘත්තීය ඇගයීම්කරුවෙකු (Professional Valuer) විසින් සිදුකරන ලද තක්සේරුව


මෙම නව සංශෝධනයත් සමඟ වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට තමන් අත ඇති මුදල සහ බැංකුවෙන් ලබාගත හැකි ණය ප්‍රමාණය පිළිබඳව නැවත ගණනය කිරීමක් කිරීමට සිදුවනු ඇත.

විශේෂයෙන්ම මෝටර් රථ සඳහා ණය සීමාව 40%ක් වීම පාරිභෝගිකයන්ට යම් බලපෑමක් එල්ල කළ හැකි බව මූල්‍ය අංශ පෙන්වා දෙයි.


මේ පිළිබඳව ඔබේ අදහස පහතින් Comment කරන්න. තවත් කෙනෙකුට දැනගන්න මේ පුවත Share කරන්න.