ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ධවල මන්දිරයේ ආරක්ෂක මුරපොලක් (Checkpoint) අසල පසුගිය සෙනසුරාදා සන්ධ්‍යාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකට ධවල මන්දිර රහස් ආරක්ෂක අංශ (Secret Service) නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර, එම වෙඩි හුවමාරුවෙන් සැකකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීන් නිල වශයෙන් තහවුරු කර සිටිනවා.
මාධ්‍ය වාර්තාවලට අනුව මෙලෙස මියගිය සැකකරු නසීර් බෙස්ට් (Nasire Best) නැමැති 21 හැවිරිදි තරුණයෙක්.
ඔහු කලක පටන් දැඩි මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළුණු අයෙකු වන අතර, ආරක්ෂක අංශවලටද මීට පෙර හඳුනාගත් පුද්ගලයෙකු බව සඳහන් වනවා.
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදුවූ වෙඩි තැබීමෙන් හරියටම මාසයකට පසුව මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයක්.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, ක්ෂණිකව සහ වෘත්තීය මට්ටමින් ක්‍රියාත්මක වී වෙඩික්කරුවා මෙල්ල කළ නිලධාරීන්ට ස්තූතිවන්ත වන බවයි.
මෙම තරුණයාට ප්‍රචණ්ඩකාරී අතීතයක් තිබූ බවත්, ධවල මන්දිරය කෙරෙහි කිසියම් අසාමාන්‍ය ඇබ්බැහියක් (Obsession) තිබෙන්නට ඇති බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
සෙනසුරාදා සවස 6:00 ට පමණ (GMT 23:00) වොෂින්ටන් නුවර 17 වැනි වීදිය සහ පෙන්සිල්වේනියා වීදිය හමුවන සන්ධිය අසල පිහිටි ආරක්ෂක මුරපොලක් අසලට පැමිණි මෙම පුද්ගලයා, එකවරම තම බෑගයෙන් ගිනිඅවියක් ගෙන වෙඩි තැබීමට පටන් ගෙන තිබෙනවා.
එහිදී එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ ඔහුව රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බව ප්‍රකාශ කෙරුණා.
මෙම අනපේක්ෂිත වෙඩි හුවමාරුව නිසා අසල සිටි සාමාන්‍ය වැසියෙකුටද (Bystander) තුවාල සිදුව ඇති නමුත්, ඔහුගේ තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කර නැහැ.
වාසනාවකට මෙන් කිසිදු ආරක්ෂක නිලධාරියෙකුට අනතුරක් සිදුවී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ධවල මන්දිරය අවට මාර්ග වසා දමා පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

0 Comments