ශ්‍රී ලංකාව වෙළාගෙන තිබූ තිස් වසරක බිහිසුණු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කර අදට (මැයි 18) වසර 17ක් සපිරෙයි.
2009 වසරේ මැයි 18 වැනිදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදීන් අවසන් වරට පරාජය කිරීමත් සමඟ මෙරට සාමය උදාවිය.
1975දී යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනයෙන් ඇරඹි මෙම බෙදුම්වාදී ත්‍රස්තවාදය, දශක තුනක් පුරා ශ්‍රී මහා බෝධිය, දළදා මාළිගාව වැනි ආගමික ස්ථානවලටත්, මහ බැංකුව සහ ගුවන්තොටුපළ වැනි ආර්ථික මර්මස්ථානවලටත් ප්‍රහාර එල්ල කරමින් දැවැන්ත විනාශයක් සිදු කළේය.
මාවිල්ආරු සොරොව්ව වසා දමමින් සිවිල් වැසියන්ගේ ජල අයිතිය අහිමි කිරීමේ මිලේච්ඡ ක්‍රියාවත් සමඟ රණවිරුවන් මාර්ග 8ක් ඔස්සේ දැවැන්ත මෙහෙයුම් දියත් කළ අතර, එය හුදු යුද්ධයක් පමණක් නොව ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමක් ලෙස ද ඉතිහාසයට එක්විය.
මෙම ඓතිහාසික ජයග්‍රහණය සැමරීමේ "ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය" හෙට (19) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බී. කොහොන මහතා සඳහන් කළේ, මෙවර සැමරුම සඳහා විශේෂත්වයක් ලෙස උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද සහභාගී කරවා ගන්නා බවයි.

0 Comments