නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ සංචිතය නම් කර තිබේ.
මෙම තරගාවලිය ලබන 21 වැනිදා දඹුල්ලේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
මීට පෙර ඕස්ට්‍රේලියාවේ පැවති තුන්කොන් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සිටි ක්‍රීඩිකාවන් 6 දෙනෙකු මෙම සංචිතයට ඇතුළත් කර ඇත.
එම ක්‍රීඩිකාවන් වන්නේ චමෝදි ප්‍රබෝධා, සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, පුමුදි මෙත්සරා, ශෂිනි ගිම්හානි සහ අසේනි තලගුණේ යන අයයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කඩුලු රකින්නෙකු වන ද අල්විස් මහතාගේ දියණිය වන විතිනි ද අල්විස් ද මෙවර සංචිතයට කැඳවා ඇත.
ඇය ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් කාන්තා කණ්ඩායම නියෝජනය කරන අතර, කෙටි ඕවර තරගවලදී ආරම්භක පිතිකාරිණියක ලෙස දක්වන දස්කම් මත ඇයට මෙම අවස්ථාව හිමිව තිබේ.
කෙසේ වෙතත්, කණ්ඩායමේ සිටින සංජනා කාවින්දි සහ සුමුදු නිසංසලා යන කඩුලු රකින්නියන් දෙදෙනා සමඟ විතිනි ද අල්විස් කඩුලු රැකීමේ අවස්ථාව සඳහා තරග කරනු ඇත.
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය සත්‍යා සන්දීපනි විසින් දරනු ලබයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙර ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පුහුණුව සහ අත්දැකීම් ලබා දීමේ අරමුණින් විශ්මි ගුණරත්න ද මෙම සංචිතයට ඇතුළත් කර ඇත.
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ පළමු තරගය මැයි 21 වැනිදා පැවැත්වෙන අතර, ඉතිරි තරග දෙක මැයි 23 සහ 25 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ සංචිතය - සත්‍යා සන්දීපනි (නායිකා), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, විතිනි ද අල්විස්, විශ්මි ගුණරත්න, දේව්මි විභාගා, සුමුදු නිසංසලා, රශ්මිකා සෙව්වන්දි, පියුමි වත්සලා, පුමුදි මෙත්සරා, සවිනි නිසංසලා, ශෂිනි ගිම්හානි, අසේනි තලගුණේ, චමෝදි ප්‍රබෝධා, රන්දි ප්‍රේමරත්න සහ සතිෂ්කුමාර් සභින්ති.

0 Comments