පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සුරේෂ් සලේ බවට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී හෙළිකරයි


පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධ නඩුකරය අද (මැයි 20) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ දීර්ඝ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මතු කළ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:

ප්‍රංශයේදී සටහන් කරගත් අසාත් මවුලානාගේ ප්‍රකාශයට අනුව, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සුරේෂ් සලේ කටයුතු කර ඇති බවත්, එය දේශපාලන අරමුණක් ඉටු කර ගැනීම සඳහා සිදුකළ බවත් හෙළි වී ඇත.

සහරාන් හෂීම්ගේ කල්ලියේ සාමාජිකයෙකු වූ සෙයිනි මවුලවි සහ පිල්ලෙයාන් අතර පැවති සම්බන්ධතාවය ඔස්සේ, එම කල්ලියේ පිරිස් සුරේෂ් සලේ සමඟ සම්බන්ධ වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පාස්කු ප්‍රහාරයට පෙර උතුරු පළාතේ හමුදා කණ්ඩායමක් කේන්ද්‍ර කරගත් ප්‍රහාරයක් සහ දකුණේ සමූල ඝාතනයක් සැලසුම් කර තිබූ බවත්, පසුව එම සැලසුම් අත්හැර පාස්කු ඉරුදින ප්‍රහාරය දියත් කර ඇති බවත් සඳහන් විය.

ප්‍රහාරය සිදුවූ දිනයේදී දෙහිවලදී බෝම්බය පුරවාගත් ජමීල් නමැත්තා සම්බන්ධයෙන් සුරේෂ් සලේ විසින් අසාත් මවුලානාට දුරකථන උපදෙස් ලබා දී ඇති බවට සාක්ෂි ලැබී ඇත.

මෙම ප්‍රහාරය ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කරගෙන සිදුකළ එකක් බවත්, ප්‍රහාරයෙන් පසු බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන් ඇතුළු පිරිස් සමඟ දේශපාලනඥයින් සම්බන්ධතා පැවැත්වූ බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී කරුණු දක්වමින් පැවසීය.

එසේම, සුරේෂ් සලේගේ ජීවිතයට තර්ජනයක් පැවතීම සහ විමර්ශන කටයුතු අඩාල වීමේ අවදානමක් පවතින බැවින්, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් නියෝගය ඉවත් කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය. 

තවද, මෙම ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධාන පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

 

Post a Comment

0 Comments