ඉන්දීය සීනි අපනයන තහනම සහ රුපියලේ අගය පහළ යෑම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමේ අවදානමක්


 

ඉන්දියාව විසින් සීනි අපනයනය තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහළ යෑම හේතුවෙන්, දේශීය වෙළෙඳපොළ තුළ සීනි හිඟයක් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑමේ දැඩි අවදානමක් මතුව ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවයි.

​මැයි 15 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා ඉන්දියාව විසින් සීනි අපනයනය තහනම් කර තිබේ. 

මෙතෙක් වැඩි වශයෙන් ඉන්දීය සීනි ආනයනය කළ ශ්‍රී ලංකාවට මේ තත්ත්වය හමුවේ බ්‍රසීලය, තායිලන්තය සහ යුරෝපීය රටවල් කිහිපයකින් සීනි ආනයනය කිරීමට සිදුව ඇතැයි එම සංගමය සඳහන් කරයි.

​බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීමට මේ වන විටත් ඇණවුම් යොමු කර තිබුණද, සැපයුම් දාමයේ පවතින ප්‍රමාදයන් හේතුවෙන් එම තොග මෙරටට ලැබීමට අවම වශයෙන් මාස දෙකක කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

ඉන්දියාව විසින් පිරිපහදු කළ සීනි අපනයනය සීමා කර නොතිබුණද, එහි අධික මිල පාරිභෝගිකයන්ට විශාල බරක් වනු ඇති බව ආනයනකරුවන් පෙන්වා දෙයි.

​තවද, විදේශ විනිමය අර්බුදය සහ ආනයන පිරිවැය ඉහළ යෑම නිසා කිරිපිටි, පරිප්පු, සැමන්, සහල් සහ ආනයනික අල ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉදිරියේදී ඉහළ යා හැකි බවට ඔවුන් අනතුරු අඟවයි. 

රුපියල තවදුරටත් අවප්‍රමාණය වුවහොත් මෙම භාණ්ඩ සඳහා නව ඇණවුම් ලබා දීමට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීම ආනයනකරුවන්ට දැඩි ගැටලුවක් වනු ඇත.

​කෙසේ වෙතත්, දැනට රට තුළ මාස දෙකකට පමණ ප්‍රමාණවත් සීනි තොග පවතින බව සංගමය වැඩිදුරටත් කියා සිටියි. 

කෙසේ වුවද, මෙම තත්ත්වය හමුවේ රට තුළ නැවත වරක් ආහාර උද්ධමනයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වෙළෙඳ ක්ෂේත්‍රයේ පාර්ශ්වයන් පෙන්වා දෙයි.

Post a Comment

0 Comments