2018 සහ 2019 කාලසීමාවන්හිදී TMVP නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් බන්ධනාගාරගතව සිටි සමයේ තමන් ඔහුව බැලීමට ගිය බව රහසක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, තමා එහි ගිය බවට වන බන්ධනාගාර වාර්තා ඕනෑම අවස්ථාවක ලබාගත හැකි බවයි.
එම වකවානුවේදී පිල්ලෙයාන් මහතා 2015 ජනාධිපතිවරණයට මෙන්ම 2018 පළාත් පාලන මැතිවරණයට ද තරඟ කරමින්, තම සන්ධානයේ පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කළ බව ද හෙතෙම සිහිපත් කරයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රංශය දක්වාම ගොස් ඇති බව පෙනෙන්නට තිබෙන බවත්, මෙය රජයේ ප්‍රමුඛතාවන් පිළිබඳව ස්වභාවිකවම ප්‍රශ්න මතු කරන කරුණක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
නිලධාරීන් එතරම් දුරක් ගියේ තමන් පිල්ලෙයාන් හමුවීමට ගිය බව තහවුරු කර ගැනීමට පමණක් නම්, එය පැහැදිලිවම මහජන මුදල් නාස්තියක් බවයි නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.
මේ වන විට පාස්කු ප්‍රහාරයට සම්බන්ධව පිල්ලෙයාන්ව රඳවා තබාගෙන නොමැති පසුබිමක, රජය මෙම මාධ්‍ය සංදර්ශන මඟින් කාව රැවටීමට උත්සාහ කරන්නේද යන්න ගැටලුසහගත බව ද ඔහු පවසයි.
ජාතික ජන බලවේගය විසින්ම විවිධ අවස්ථාවලදී පාස්කු ප්‍රහාරය පිළිබඳ විවිධ මත ප්‍රකාශ කර ඇති අතර, රජය දැන් මෙම ඛේදවාචකය දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කර ගැනීමට යොදා ගන්නේ නම්, එය තවමත් සැබෑ පිළිතුරු සහ සාධාරණත්වය බලාපොරොත්තුවෙන් සිටින වින්දිතයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලට ද කරන දැඩි අසාධාරණයක් බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
ඕනෑම සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් අතර, පවතින සැකයන් විවෘතව සහ විනිවිදභාවයකින් යුතුව නිරාකරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියි.
දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට, රජය අවධානය යොමු කළ යුත්තේ රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල ලබා දීමට බව ද නාමල් රාජපක්ෂ මහතා සිය සටහන මඟින් අවධාරණය කර තිබේ.
.png)
0 Comments