වත්මන් සමාජය තුළ බාලවයස්කාර දැරියන් නොමේරූ වයසින්ම ගැබ්ගැනීම්වලට ගොදුරු වීමේ අවාසනාවන්ත ප්‍රවණතාවක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
මේ හේතුවෙන් දරුවන් සහ දෙමාපියන් සක්‍රීයව දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවක් වී ඇති අතර, අනිසි ළමා ගැබ්ගැනීම් සහ අපරාධ වළක්වා ගැනීම සඳහා පොලිසිය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ.
* පොලිස් ස්ථාන වෙත ලැබී ඇති පැමිණිලි විශ්ලේෂණය කිරීමේදී පෙනී ගොස් ඇත්තේ, දෙමාපියන් අධික ලෙස කාර්යබහුල වීම හේතුවෙන් පවුල තුළින් දරුවන්ට ලැබෙන සෙනෙහස සහ අවධානය අඩු වන බවයි.
* මෙලෙස ගිලිහී යන අවධානය දැරියන් විසින් ජංගම දුරකථන, සමාජ මාධ්‍ය හෝ බාහිර පුද්ගලයන් හරහා පියවා ගැනීමට උත්සාහ කිරීම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුවක් වී ඇත.
* තමන්ට මුහුණ දීමට සිදු වන ඕනෑම ගැටලුවක් හෝ අනිසි බලපෑමක් කිසිදු බියකින් තොරව පැවසිය හැකි විවෘත සහ සුහදශීලී පරිසරයක් නිවස තුළ නිර්මාණය කරන්න.
* දරුවන්ට අවශ්‍ය ආදරය, දයාව සහ රැකවරණය පවුල තුළින්ම නොඅඩුව ලබා දීමට පියවර ගන්න.
* නවීන තාක්ෂණික උපකරණ සහ සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී දියණියන් පවත්වන සබඳතා පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන්න.
* දරුවාගේ අධ්‍යාපන උනන්දුව හදිසියේම අඩු වීම, නිරන්තරයෙන් දුරකථනයේ රැඳී සිටිමින් රහස්‍යභාවයක් රැකීමට තැත් කිරීම හෝ වෙනත් අසාමාන්‍ය හැසිරීම් නිරීක්ෂණය වන්නේ නම්, ඒ පිළිබඳව සොයා බලා ඇය සමඟ සුහදව සාකච්ඡා කරන්න.
* මව්පියන්ගේ රැකවරණය මැද වුව ද, මෙවැනි අපරාධවලට ගොදුරු නොවීමට දැරියන් ද දැඩි ලෙස ස්වයං-සංයමයකින් සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතුය.
* ෆේස්බුක් (Facebook), ඉන්ස්ටග්‍රෑම් (Instagram) හෝ වට්ස්ඇප් (WhatsApp) වැනි සමාජ මාධ්‍ය ජාල හරහා හඳුනාගන්නා නන්නාදුනන පුද්ගලයන් කිසිසේත්ම විශ්වාස නොකරන්න.
* තමන්ගේ පෞද්ගලික තොරතුරු, ඡායාරූප හෝ වීඩියෝ දර්ශන කිසිදු බාහිර පාර්ශවයක් සමඟ හුවමාරු කරගැනීමෙන් වළකින්න.
* යම් අවස්ථාවකදී බියක්, සැකයක් හෝ අනිසි කරදරයක් දැනුණහොත්, එය කිසිසේත් සඟවා නොතබා වහාම මව්පියන්ට, විදුහල්පතිවරයාට/විදුහල්පතිනියට, ගුරුවරියකට හෝ තමන්ට සමීපතම විශ්වාසවන්ත වැඩිහිටියෙකුට දැනුම් දෙන්න.
* යම් හෙයකින් දරුවෙකුට කිසියම් අනතුරක්, අපයෝජනයක් හෝ බලපෑමක් සිදුව ඇති බව දැනගතහොත්, වහාම ක්‍රියාත්මක වී ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
පොලිස් ක්ෂණික ඇමතුම් අංක:
📞 119 | 118 | 109 | 107
.png)
0 Comments