අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය බ්‍රිතාන්‍යයේ නිල සංචාරයකට පිටත්ව යයි !


 

22 වැනි වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලයීය අධ්‍යාපන සමුළුවට සහ 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය විවෘත ඉගෙනුම් ආයතනයේ (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (18) දිවයිනෙන් පිටත්ව ගියාය.

එක්සත් රාජධානියේ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍යවරිය, මෙරට අධ්‍යාපන පද්ධතිය සහ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් බ්‍රිතාන්‍යයේ ඉහළ පෙළේ බලධාරීන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම් බ්‍රිජට් පිලිප්සන් (Bridget Phillipson) සහ විදේශ ලේකම් ඉවෙට් කූපර් (Yvette Cooper) යන මහත්මීන් සමඟ විශේෂ හමුවීම් සිදු කෙරෙනු ඇත.

මීට අමතරව, ඇය සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ (IDS) 60 වැනි සංවත්සරයට එක්වන අතර, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්වතුන් සහ සිසුන් අමතා විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිතය. 

මෙම සංචාරය හරහා පර්යේෂණ, ප්‍රතිපත්ති සම්පාදනය සහ කුසලතා සංවර්ධන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සහයෝගීතාව තවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Post a Comment

0 Comments