දුම්කොළ භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වසරකට පුද්ගලයින් 20,000කට අධික පිරිසක් මරණයට පත්වන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) පවසයි.
2026 ලෝක දුම්කොළ නිවාරණ දිනය නිමිත්තෙන් කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙම තැතිගන්වනසුලු තොරතුරු අනාවරණය කළේය.
වෛද්‍ය රත්නායක මහතා පෙන්වා දෙන්නේ දුම්කොළ භාවිතය හේතුවෙන් මිනිස් සිරුරට වැළඳිය හැකි රෝග 200කට අධික සංඛ්‍යාවක් දැනටමත් හඳුනාගෙන ඇති බවයි.
"මේ පුංචි රට ඇතුළේ දුම්කොළ භාවිතය නිසා වසරකට ආසන්න වශයෙන් 22,000කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මියයනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
දැවැන්ත ආර්ථික හානිය
දුම්කොළ භාවිතය නිසා සිදුවන ආර්ථික හානිය ද සුළුපටු නොවන බව මෙහිදී අවධාරණය කෙරිණි.
2016 වසරේ දත්ත ඇස්තමේන්තුවලට අනුව වසරකට රුපියල් බිලියන 214කට ආසන්න මුදලක් දුම්කොළ නිසා සිදුවන සෞඛ්‍ය හානි නඩත්තු කිරීමට රජයට වැය වේ.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම මුදල නෙළුම් කුලුනු 16ක් හෝ අධිවේගී මාර්ග දෙකක් ඉදිකිරීමට වැයවන මුදලට සමාන බවයි.
පාරිසරික විනාශය
සෞඛ්‍ය හා ආර්ථික හානියට අමතරව, දුම්වැටි භාවිතය නිසා සිදුවන පාරිසරික බලපෑම පිළිබඳව ද මෙහිදී කරුණු අනාවරණය විය.
ලංකාවේ පමණක් වාර්ෂිකව සිගරට් ෆිල්ටර් මිලියන 9ත් 11ත් අතර ප්‍රමාණයක් පරිසරයට මුදාහරිනු ලබයි.
මෙම පාවිච්චි කරන ලද ෆිල්ටර්වල උග්‍ර විෂ රසායනික සහ පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු වන බැවින්, ඒවා මගින් සිදුවන පාරිසරික සහ සෞඛ්‍ය හානිය අනන්ත බව වෛද්‍ය රත්නායක මහතා පැහැදිලි කළේය.
දුම්කොළ භාවිතයෙන් තරුණ පරපුර ආරක්ෂා කර ගැනීම සහ මෙමගින් සිදුවන මරණ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා ඉදිරියේදී තවදුරටත් දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කෙරිණි.

0 Comments