JB Securities ආයතනය විසින් නිකුත් කළ නවතම විශ්ලේෂණයට අනුව, ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොළ පසුගිය අප්‍රේල් මාසයේදී දැඩි මන්දගාමී තත්ත්වයකට පත්ව ඇත.
සමස්ත වාහන ලියාපදිංචි කිරීම් මාර්තු මාසයේ පැවති ඒකක 59,734 සිට අප්‍රේල් මාසයේදී ඒකක 51,156 දක්වා සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.
මෙම පසුබෑම සඳහා මෝටර් කාර්, ත්‍රිරෝද රථ සහ ලොරි රථ ලියාපදිංචි කිරීම් අඩුවීම ප්‍රධාන වශයෙන් බලපා ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
මෝටර් කාර් වෙළඳපොළේ තත්ත්වය,
* මෝටර් කාර් ලියාපදිංචි කිරීම් මාර්තු මාසයේ ඒකක 4,856 සිට අප්‍රේල් මාසයේදී ඒකක 3,238 දක්වා පහළ ගොස් ඇත.
* විශේෂයෙන්ම නව කාර් (Brand New) ලියාපදිංචි කිරීම් 60%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී තිබේ.
* පාවිච්චි කළ (Used) කාර් වෙළඳපොළේ Suzuki තවදුරටත් පෙරමුණේ පසුවන අතර Toyota සහ Daihatsu ඊළඟ ස්ථාන ලබාගෙන ඇත.
විදුලි වාහන (EV) සහ හයිබ්‍රිඩ්,
* විදුලි වාහන කාණ්ඩයේ BYD මෝටර් කාර් ලියාපදිංචි කිරීම්වල දැඩි පහළ යාමක් දක්නට ලැබුණු අතර, මාර්තු මාසයේ ඒකක 807ක් වූ ලියාපදිංචි කිරීම් අප්‍රේල් මාසයේදී ඒකක 29ක් දක්වා සීමා වී ඇත.
* කෙසේ වෙතත්, විදුලි දෙරෝද රථ ලියාපදිංචි කිරීම් යම් ස්ථාවර මට්ටමක පවතින බව වාර්තාවේ සඳහන් වේ.
* හයිබ්‍රිඩ් වාහන අංශයේ Honda සහ Toyota SUV රථ සඳහා තවමත් වැඩි ඉල්ලුමක් පවතී.
ත්‍රිරෝද සහ දෙරෝද රථ,
* ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම්වල අතිවිශාල පසුබෑමක් වාර්තා වන අතර, මාර්තු මාසයේ ඒකක 4,031ක් වූ ලියාපදිංචි කිරීම් අප්‍රේල් මාසයේදී ඒකක 1,355 දක්වා පහළ වැටී ඇත.
* දෙරෝද රථ අංශයේ Bajaj සමාගම ඒකක 9,924ක් සමඟ වෙළඳපොළේ ප්‍රමුඛයා ලෙස රැඳී සිටින අතර TVS සහ Honda ඊළඟ ස්ථානවල පසුවේ.
වර්ධනයක් පෙන්වූ එකම අංශය - ට්‍රැක්ටර්,
* සමස්ත වෙළඳපොළම පසුබෑමකට ලක්ව තිබියදී, විශාල ට්‍රැක්ටර් ලියාපදිංචි කිරීම් පමණක් වර්ධනයක් පෙන්නුම් කර ඇත. එය මාර්තු මාසයේ ඒකක 470 සිට අප්‍රේල් මාසයේදී ඒකක 686 දක්වා ඉහළ ගොස් ඇති අතර TAFE, Mahindra සහ Kubota මෙහි ප්‍රමුඛ වෙළඳ නාම වේ.
ආනයන රටවල බලපෑම,
ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් වාහන ආනයනය කරන ජපානය, ඉන්දියාව සහ චීනය යන රටවල් තුනෙන්ම සිදුකරන ආනයන අප්‍රේල් මාසයේදී පහළ ගොස් ඇති බව JB Securities වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

0 Comments