FIFA World Cup 2026 සමාරම්භයට සහ පළමු තරගයට ප්‍රථමයෙන් ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු සියල්ල මෙන්න !

 

2026 පාපන්දු ලෝක කුසලානය සිරස ටීවී ඔස්සේ සජීවීව - FIFA World Cup 2026 live telecast free on Sirasa TV in Sri Lanka


ඔලිම්පික් උළෙල හැරුණුකොට ලොව විශාලතම ක්‍රීඩා උත්සවය ලෙස සැලකෙන ෆීෆා (FIFA) පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට, එනම් ජූනි මස 12 වැනිදා අලුයම මෙක්සිකෝවේදී නිල වශයෙන් ආරම්භ වීමට නියමිතය. 

ලොව පුරා බිලියන 6කට අධික ප්‍රේක්ෂකයින් පිරිසක් නොඉවසිල්ලෙන් බලා සිටින මෙවර තරගාවලිය, වසර 96ක ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට මෙක්සිකෝව, කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් ත්‍රිත්වයේ නගර 16ක පිහිටි ක්‍රීඩාංගණවලදී පැවැත්වෙයි. 

එමෙන්ම ඉතිහාසයේ ප්‍රථම වරට රටවල් 48ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වන මෙවර තරගාවලිය පුරා සමස්ත තරග 104ක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 

එහිදී මූලික වටයේ තරග සඳහා කණ්ඩායම් 48, එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් වන සේ කාණ්ඩ 12කට බෙදා ඇති අතර ඉන් කණ්ඩායම් 32ක් දෙවැනි වටයට තේරී පත් වෙයි. 

එතැන් සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට සති 5කට අධික කාලයක් තිස්සේ පැවැත්වෙන මෙම මහා තරගාවලියේ අවසන් මහා තරගය ජූලි මස 20 වැනිදා ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙවර තරගාවලියේ සමාරම්භක මංගල තරගය හෙට (12) අලුයම 12.30 ට සත්කාරක මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණද, ලෝකවාසී ප්‍රේක්ෂකයන්ගේ පරම අවධානය යොමුව ඇත්තේ වත්මන් ලෝක ශූරයන් වන ආර්ජන්ටිනාව සහ පෘතුගාලය වෙතය. 

ඊට ප්‍රධානතම හේතුව වන්නේ අපේ කාලයේ බිහිවූ විශිෂ්ටතම පාපන්දු තරු ද්විත්වය වන ලයනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහභාගි වන 6 වැනි සහ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙය වීමයි. 

දැනට ෆීෆා ශ්‍රේණිගත කිරීම්වල ආර්ජන්ටිනාව පළමු ස්ථානයේත්, පෘතුගාලය පස්වැනි ස්ථානයේත් පසුවන අතර, මෙම සුපිරි ක්‍රීඩකයන් දෙදෙනා මෙවර අවසන් මහා තරගයේදී මුහුණට මුහුණ හමුවනු ඇතැයි ප්‍රේක්ෂකයෝ දැඩි සේ විශ්වාස කරති. 

වයස අවුරුදු 39ක් වන ලයනල් මෙසී ජාත්‍යන්තර තරග 199කදී ගෝල 117ක් රැස් කරගෙන ඇති අතර, 41 වැනි වියේ පසුවන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර තරග 222කදී ගෝල 143ක් ලබා ගනිමින් ලෝක වාර්තාවකට හිමිකම් කියයි. 

ඔවුන්ගේ වයස සහ වත්මන් තරග රටාව අනුව ලෝක වේදිකාවකදී අපට දැකගත හැකි අවසන් ගැටුම මෙය විය හැකියි.

ශ්‍රී ලාංකීය පාපන්දු ලෝලීන්ට රූපවාහිනිය ඔස්සේ මෙම සියලුම තරග නොමිලේ නැරඹීමේ පූර්ණ අයිතිය කැපිටල් මහාරාජා සමූහය විසින් ලබාගෙන ඇත. 

ඒ අනුව හෙට ආරම්භ වන පළමු තරගයේ සිට ජූලි 20 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය දක්වා වූ සියලුම තරග සිරස ටීවී, ටීවී-1 (TV-1) සහ ශක්ති ටීවී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කෙරේ. 

තරග සජීවීව පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.00 ත් උදෑසන 9.00 ත් අතර බැවින්, නිදි වර්ජිතව මැච් බැලීමට අපහසු ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තෝරාගත් සුවිශේෂී තරග කිහිපයක් අදාළ දිනවලදීම පස්වරු 2.00 සිට නැවත විකාශය කිරීමට ද මෙම නාලිකා ත්‍රිත්වය කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. 

මෙවර තරගාවලිය සත්කාරක ඇමරිකාවේ නගර 11කදීත්, කැනඩාවේ වැන්කුවර් සහ ටොරොන්ටෝ නගරවලදීත්, මෙක්සිකෝවේ මෙක්සිකෝ නුවර, ගුවාඩලාජාරා සහ මොන්ටෙරි යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

මෙවර තරගාවලියේ තවත් විශේෂත්වයක් වන්නේ සත්කාරක රටවල් ත්‍රිත්වයම කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත් සමාරම්භක උත්සව 3ක් සංවිධානය කර තිබීමයි. ඒ ඒ රටවල පැවැත්වෙන පළමු තරගය ආරම්භවීමට මිනිත්තු 90කට පෙර මෙම උත්සව ආරම්භ වේ.

* මෙක්සිකෝවේ සුප්‍රකට 'Estadio Azteca' ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් අද (11) රාත්‍රී 11.30ට ආරම්භ වේ. 

* මෙහිදී ලෝක ප්‍රකට ගායන ශිල්පිනී ශකීරා සහ බර්නා බෝයි විසින් මෙවර ලෝක කුසලාන නිල තේමා ගීතය වන 'ඩායි ඩායි' (Dai Dai) ගීතය ප්‍රථම වරට සජීවීව ගායනා කරනු ඇත.

* කැනඩාවේ නිල සමාරම්භක උත්සවය ටොරොන්ටෝහිදී මෙරට වෙලාවෙන් හෙට (12) රාත්‍රී 11.00 ට පැවැත්වීමට නියමිතය.

* ඇමරිකාවේ සමාරම්භක උත්සවය ලොස් ඇන්ජලීස්හිදී පැවැත්වෙන අතර, එය මෙරට වේලාවෙන් අනිද්දා (13) අලුයම 5.30ට ලෝක ප්‍රකට තරු රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

Post a Comment

0 Comments