ලෝක ව්‍යාපාරික ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, සුප්‍රකට SpaceX සමාගම කොටස් වෙළඳපොළට ඇතුළත් වීමෙන් (Stock Market Debut) ලැබූ වාර්තාගත ප්‍රගතියත් සමඟ ඊලෝන් මස්ක් (Elon Musk) ලොව ප්‍රථම ත්‍රිලියනපතියා බවට පත්වීමට සමත්ව තිබේ.
බ්ලූම්බර්ග් (Bloomberg) බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ඩොලර් ත්‍රිලියන 1.11 ක (එනම් 1 ඉලක්කම පිටුපසට බින්දු 12ක් ඇති සුවිශාල මුදලක්) ඇස්තමේන්තුගත ශුද්ධ වත්කමකට හිමිකම් කියමින් ඔහු මේ වන විට ලෝක සුපිරි ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක එකේ කිරුළ දරා සිටියි.
ඒ අනුව ගූගල් නිර්මාතෘවරුන් වන ලැරී පේජ් සහ සර්ජි බ්‍රින්, ඇමසන් හි ජෙෆ් බෙසොස් මෙන්ම ප්‍රංශයේ සුඛෝපභෝගී සන්නාමයක් වන LVMH හි ප්‍රධානියා වන බර්නාඩ් අර්නෝල්ට් වැනි ප්‍රමුඛ පෙළේ බිලියනපතියන් සියල්ලන්ම අභිබවා යෑමට ඔහුට හැකි වී තිබේ.
දැනට මස්ක්ගේ වත්කම ඔහුගේ සමීපතම ප්‍රතිවාදියා වන ලැරී පේජ් මෙන් හතර ගුණයකටත්, මෙටා (Meta) සමාගමේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් මෙන් පස් ගුණයකටත් වඩා වැඩි වීම සුවිශේෂී කරුණකි.
ලොව ධනවත්ම මිනිසා වුවද, 1990 දශකයේ අගභාගයේදී තාක්ෂණික ක්ෂේත්‍රයට පා තැබූ මස්ක්ගේ මෙම ගමන සැමවිටම සුමට එකක් නොවීය. මීට වසර හයකට පෙර, එනම් 2020 ජනවාරි මාසයේදී ඔහු ඩොලර් බිලියන 28 ක වත්කමකින් යුතුව ලොව 35 වැනි ධනවත්ම පුද්ගලයා පමණක් විය.
නමුත් එම වසරේදී ඔහුගේ ප්‍රධාන සමාගම් ද්විත්වය වන ටෙස්ලා (Tesla) සහ SpaceX හි වටිනාකම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ඔහුගේ වත්කම් ද ඉහළ ගිය අතර, 2021 ජනවාරි වන විට ඔහු ජෙෆ් බෙසොස්ව ද අභිබවා ලොව ධනවත්ම මිනිසා බවට පත් විය.
ඉන්පසුව 2022 වසරේ ඇමරිකානු තාක්ෂණික කොටස් මිල පහත වැටීම නිසාත්, 2025 මුල් භාගයේදී ට්‍රම්ප් පරිපාලනය තුළ ඔහුගේ භූමිකාව පිළිබඳ ආයෝජකයින් තුළ ඇති වූ කනස්සල්ල සහ ටෙස්ලා කොටස් මිල පහත වැටීම නිසාත් ඔහුගේ වත්කම් දැඩි ලෙස කඩා වැටුණි.
කඳු වැටියක ස්වභාවය ගත් මෙම දැවැන්ත නැඟීම් සහ බැසීම්වලින් පසුව, ඔහු සෑම අවස්ථාවකදීම පෙරටත් වඩා ශක්තිමත්ව නැවත නැගී සිටීමට සමත්ව ඇත.
මස්ක්ගේ මෙම අතිදැවැන්ත වත්කමෙන් සැබෑ මුදල් (Cash) ලෙස පවතින්නේ ඉතා සුළු ප්‍රමාණයක් බව මතක තබා ගත යුතුය. පසුගිය පෙබරවාරි මාසයේදී ඔහු X (ට්විටර්) සමාජ මාධ්‍යයේ සඳහන් කළේ තමා සන්තකයේ ඇති මුදල් ප්‍රමාණය සමස්ත වත්කමෙන් 0.1% කටත් වඩා අඩු බවයි.
ඔහුගේ ධනය ප්‍රධාන වශයෙන්ම රඳා පවතින්නේ කොටස් වෙළඳපොළ මතය.
ඒ අනුව වර්තමානයේ ඩොලර් ත්‍රිලියන 1.5 ක වෙළඳපොළ වටිනාකමක් ඇති ටෙස්ලා සමාගමේ 12% ක කොටස් හිමිකාරීත්වයක් සහ ඩොලර් ත්‍රිලියන 2 කට වඩා වටිනා SpaceX සමාගමේ 42% ක කොටස් හිමිකාරීත්වයක් ඔහු සතු වන අතර, මින් බොහෝ කොටස් පුද්ගලික ණය සඳහා ඇපකර ලෙස ද තබා ඇත.
මීට අමතරව 'The Boring Company' සහ 'Neuralink' වැනි කුඩා පරිමාණයේ තාක්ෂණික සමාගම්වල ද ඔහු කොටස් හිමිකරුවෙකි.
පෙර කලෙක ලොව ධනවතුන් බිහිවූයේ මූල්‍ය හෝ නිෂ්පාදන ක්ෂේත්‍රවලින් වුවද, අද වන විට සමස්ත ලෝක ධනවත්ම ලැයිස්තුව තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්තයින් විසින් අත්පත් කරගෙන තිබේ.
පසුගිය 2015 වසරේදී ලොව ධනවත්ම පුද්ගලයන් 10 දෙනාගෙන් තාක්ෂණික ක්ෂේත්‍රයට අයත් වූයේ දෙදෙනෙකු පමණක් වුවද, අද වන විට ලොව මුල්ම ධනවතුන් 6 දෙනාම ඇතුළුව සමස්ත ලැයිස්තුවේ 7 දෙනෙකුම තාක්ෂණික ක්ෂේත්‍රයේ Titans ලා වීම වර්තමාන ලෝකයේ සැබෑ වෙනස මනාව පැහැදිලි කරයි.

0 Comments