ජපානය තුළ වෙසෙන මුස්ලිම් ප්‍රජාව සිය ආගමික වතාවත්වලට අනුව මියයන පුද්ගලයන්ගේ දේහයන් මිහිදන් කිරීම සඳහා සුසාන භූමි සොයාගැනීමේ දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටිති.
විදේශීය සේවකයන්, ස්ථිර පදිංචිකරුවන් මෙන්ම ඉස්ලාම් දහම වැළඳගත් ජපන් ජාතිකයන් ද ඇතුළුව ලක්ෂ දෙකත්, තුන්ලක්ෂ පනස්දහසත් අතර මුස්ලිම් ජනගහනයක් මේ වන විට එරට ජීවත් වුවද, ඔවුන් වෙනුවෙන් පවතින භූමදාන පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙම තත්ත්වයට හේතු වී ඇත.
ඉස්ලාමීය දහමට අනුව මෘතදේහ ආදාහනය කිරීම සපුරා තහනම් වන අතර, සිරුර පිරිසිදු කර මක්කම දෙසට හැරෙන සේ භූමදානය කිරීම අනිවාර්ය පිළිවෙතකි.
කෙසේ වෙතත්, බෞද්ධ සහ ෂින්ටෝ ආගමික බලපෑම මෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ සෞඛ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් ජපානයේ සමස්ත මළසිරුරුවලින් සියයට 99.9කටත් වඩා වැඩි ප්‍රමාණයක් සිදුකෙරෙන්නේ ආදාහනය කිරීම්ය.
මේ හේතුවෙන් සමස්ත ජපානය පුරාම මුස්ලිම් භූමදාන සඳහා අවසර ඇති ස්ථාන පවතින්නේ 7ත් 10ත් අතර සංඛ්‍යාවක් පමණි.
ඒවාද බහුතරයක් හොක්කයිඩෝ, ෂිසුවෝකා සහ යමනාෂි වැනි නැගෙනහිර ජපානයේ ප්‍රදේශවලට සීමා වී තිබේ.
ඉන්දුනීසියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය වැනි රටවලින් පැමිණෙන ශ්‍රමිකයන්ගේ වර්ධනයත් සමග, බෙප්පු මුස්ලිම් සංගමය වැනි සංවිධාන තමන්ටම වෙන් වූ සුසාන භූමි ලබාගැනීමට නීතිමය සටනක නිරත වේ.
එහෙත් ඒ සඳහා ප්‍රාදේශීය වැසියන්ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.
භූමදානය කිරීම් නිසා භූගත ජලය අපවිත්‍ර වීම, පස දූෂණය වීම සහ කෘෂිකර්මාන්තයට හානි සිදු වේ යැයි ගම්වැසියන් තුළ බියක් හටගෙන ඇත. එමෙන්ම සීමිත ඉඩම් පවතින රටක, ආදාහන සංස්කෘතියෙන් බැහැරව භූමදානය සඳහා ඉඩම් වෙන් කිරීම අසාධාරණ බව බොහෝ ජපන් ජාතිකයන්ගේ මතයයි.
මෙම ප්‍රශ්නය මේ වන විට ජපානයේ ප්‍රාදේශීය මෙන්ම ජාතික දේශපාලනයට ද දැඩිව බලපා තිබේ.
ඔයිටා ප්‍රාන්තයේ හිජි නගරයේ සුසාන භූමියක් ඉදිකිරීමට මුස්ලිම් සංගමය ගත් උත්සාහය, වැසියන්ගේ පෙත්සම් හේතුවෙන් අසාර්ථක විය.
2024 නගරාධිපතිවරණයේදී මෙම ව්‍යාපෘතියට විරුද්ධ වූ අපේක්ෂකයා බලයට පත්වෙමින් අදාළ ඉඩම් විකිණීම මුළුමනින්ම තහනම් කළේය.
මියාගි ප්‍රාන්තයේ ආණ්ඩුකාර යොෂිහිරෝ මුරායි මහතා මුලින් විදේශිකයන් වෙනුවෙන් සුසාන භූමියක් ලබාදීමට එකඟ වුවද, 2025 සැප්තැම්බර් මාසයේ පැවති මැතිවරණය ඉලක්ක කර ගනිමින් එල්ල වූ මහජන විරෝධතා හමුවේ සිය තීරණය අත්හැර දැමීමට සිදු විය.
ජාතික තලයේදී මිසුහෝ උමෙමුරා වැනි දක්ෂිණාංශික දේශපාලනඥයන් පෙන්වා දෙන්නේ මියයන විදේශිකයන්ගේ දේහයන් ඔවුන්ගේ මව් රටවලටම ගෙන යා යුතු බවයි.
ජපාන නීතියට අනුව භූමදානය කිරීම සපුරා තහනම් කර නොමැති අතර ජාතික මට්ටමේ වැළැක්වීමක් ද නැත.
රජය මේ පිළිබඳ සමීක්ෂණ පවත්වමින් සිටියද, ප්‍රාදේශීය සභා මට්ටමින් අවසර ලබාගැනීමේ පවතින දැඩි බාධා නිසා ජපානය තුළ මුස්ලිම් දේහයන් මිහිදන් කිරීම වර්තමානයේ අතිශය අසීරු කාර්යයක් බවට පත්ව ඇත.
#AdaLankaLive #LankaNews #BreakingNews #srilanka
.png)
0 Comments