රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් වනවාසල ප්‍රදේශයේදී පීලි පැනීමට ලක්වීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු එළඹෙන මැයි මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. 

අද දින අලුත්කඩේ අංක 5 අධිකරණය වෙත සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේදී, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

ඊයේ අලුයම සිදු වූ මෙම දුම්රිය අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ දිනයේදීම විශේෂ පරීක්ෂණයක් පවත්වනු ලැබීය. 

එහිදී අනාවරණය වී ඇත්තේ කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් දුම්රිය මාර්ගයේ කොටස් ගලවා දමා තිබීම හේතුවෙන් මෙම පීලි පැනීම සිදුව ඇති බවයි.

මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ අතර, ඊයේ සවස් කාලය වන විට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් සමත් විය. 

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් මෙලෙස අද දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.