ඇහැලියගොඩ, පොල්වත්ත කඩේ හන්දිය ආසන්න ප්‍රදේශයේදී සිදු වූ දරුණු කැපුම් කෙටුම් කිරීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇහැලියගොඩ පොලිසිය වාර්තා කරයි. ඊයේ (19) මෙම සාහසික ඝාතනය සිදුව ඇත.
පොලිස් වාර්තාවලට අනුව, ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධවලින් දරුණු ලෙස පහර දී ඇති අතර, ඉන් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් අධික ලෙස ලේ වහනය වී ඔහු එම ස්ථානයේදීම අවසන් හුස්ම හෙළා ඇත.
මීට අමතරව ඔහුගේ පාදයක ද කැපුම් තුවාල කිහිපයක් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ඝාතනය සිදුකළ පිරිස 'ස්කූටි' (Scooty) වර්ගයේ යතුරුපැදියකින් එම ස්ථානයෙන් පලාගොස් ඇති බවට විමර්ශන කණ්ඩායම් වෙත තොරතුරු ලැබී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇහැලියගොඩ පොලිස් ස්ථානය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අපරාධයට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
0 Comments