ට්‍රම්ප්-නෙතන්යාහු රහසිගත ඇමතුම සහ "ඔපරේෂන් ස්ලෙජ්හැමර්" සැලසුම


 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර අතිශය තීරණාත්මක දුරකථන සංවාදයක් පවත්වා ඇති බව වාර්තා වේ. 

මෙම සාකච්ඡාවත් සමඟ මැදපෙරදිග කලාපය නැවත වතාවක් මහා පරිමාණ යුද ගැටුමක අද්දරටම පැමිණ ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

පෙන්ටගනයෙන් (Pentagon) කාන්දු වූ බව කියන අතිශය රහසිගත යුද සැලසුමක් වන "ඔපරේෂන් ස්ලෙජ්හැමර්" (Operation Sledgehammer) පිළිබඳ තොරතුරු මේ වන විට කරළියට පැමිණ ඇත. 

මින් පෙර ඇමරිකාව සහ ඉරානය අතර පැවති බිඳෙනසුලු සටන් විරාම එකඟතාවන් සම්පූර්ණයෙන්ම බිඳ දමමින්, ඉරානය විසින් ඉදිරිපත් කළ සාම යෝජනා ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වේ.

NBC News ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් පළ වන තොරතුරුවලට අනුව, පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වූ "ඔපරේෂන් එපික් ෆියුරි" (Operation Epic Fury) මෙහෙයුමේ මීළඟ පියවර ලෙස, ඉරානයට එරෙහිව දැවැන්ත ගුවන් සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කිරීමට මෙමඟින් සැලසුම් කර ඇත.

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ (Congress) පූර්ව අනුමැතියකින් තොරව, දින 60ක කාලයක් සන්නද්ධ ප්‍රහාර දියත් කිරීමට ජනාධිපතිවරයාට ඇති විශේෂ නීතිමය ප්‍රතිපාදන භාවිත කරමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසේ. 

මේ වන විටත් පර්සියානු ගල්ෆ් කලාපයේ රැඳී සිටින ඇමරිකානු යුද නැව් (US Warships) නවීන මිසයිල සහ පතොරම්වලින් නැවත සන්නද්ධ වෙමින් (Rearmed) පවතින බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය හමුවේ ඊශ්‍රායල හමුදාවන්ද ඉහළම ආරක්ෂිත සූදානමකින් (Red Alert) පසුවෙයි. 

ජනාධිපති ට්‍රම්ප්ගේ චීන සංචාරයෙන් පසු ඉරානය වෙත එල්ල වූ දැඩි අනතුරු ඇඟවීම් හමුවේ, ඉරානය ද සිය වෙරළාරක්ෂක සීමාවන් කිලෝමීටර් 500ක් දක්වා ව්‍යාප්ත කරමින් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇත.

තමන්ට එරෙහිව එකදු මිසයිල ප්‍රහාරයක් හෝ එල්ල වුවහොත්, කලාපයේ ඇති ඇමරිකානු කඳවුරු සහ ඊශ්‍රායලයේ ප්‍රධාන නගර මිනිත්තු කිහිපයක් ඇතුළත අළු දූවිලි කරන බවට ඉරාන බලධාරීන් දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.

"මට ඇමරිකානු ආර්ථිකයට වඩා වැදගත් වන්නේ ඉරානයට කවදාවත් න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ඉඩ නොදීමයි"

ජනාධිපති ට්‍රම්ප් ඕවල් කාර්යාලයේ සිට මාධ්‍ය වෙත මෙවැනි අදහසක් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මෙම දේශපාලන නොසන්සුන්තාවය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, සමස්ත ගෝලීය ආර්ථිකයම මේ වන විට දැඩි අවදානමකට සහ මරණ බියකට ලක්ව ඇත.

Post a Comment

0 Comments