ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘මාස්ටර් චෙෆ්’ ලෙස හසලක සංජුල මනෝජ් අභිෂේක ලබයි




ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වූ ‘මාස්ටර් චෙෆ් ශ්‍රී ලංකා’ (MasterChef Sri Lanka) පළමු අදියරේ අවසන් මහා තරගය පසුගියදා උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය. 


එහිදී සෙසු දක්ෂ තරගකරුවන් අභිබවා යමින් ප්‍රථම මාස්ටර් චෙෆ් කිරුළ දිනා ගැනීමට හසලක ප්‍රදේශයේ පදිංචි සංජුල මනෝජ් සමත් විය.


පෙරේදා (9) රාත්‍රියේ විකාශය වූ තීරණාත්මක අවසන් මහා තරගයේදී මනෝජ් සිය සූපශාස්ත්‍ර දක්ෂතා උපරිමයෙන් ප්‍රදර්ශනය කළේය. මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට හිමිවූ තෑගි බෝග මෙසේය,


* රුපියල් ලක්ෂ 30ක මුදල් ත්‍යාගය

* අති නවීන BYD මෝටර් රථයක්


අවසන් වටයට තේරී පත්වූ සෙසු තරගකරුවන් අතරින් මරියා දෙවැනි ස්ථානයත්, සංදීප තෙවැනි ස්ථානයත් හිමිකර ගත්හ.


ප්‍රවීණ සූපවේදී පීටර් කුරුවිට ඇතුළු සවින්ද්‍රි පෙරේරා, කපිල ජයසිංහ සහ රොහාන් ප්‍රනාන්දුපුල්ලේ යන විනිසුරු මඩුල්ලේ දැඩි පරීක්ෂාවට ලක්වෙමින් මනෝජ් මෙම ජයග්‍රහණය කරා ගමන් කළේය. 


දේශීය ආහාර වට්ටෝරු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම ඔහු ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රධාන හේතුවක් විය.


‘හෙළ රසැති පිරිපත’ (Sri Lanka on a Plate) යන තේමාව යටතේ පැවැත්වුණු මෙම තරගාවලිය, මෙරට ආහාර සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙන ගිය සුවිශේෂී මංපෙතක් විය. 


රියැලටි ටීවී ප්‍රඩක්ෂන්ස් (Reality TV Productions) නිෂ්පාදනයක් වූ මෙම වැඩසටහන හරහා, මනෝජ් දැන් රටවල් 70කට අධික සංඛ්‍යාවක විකාශය වන ගෝලීය මාස්ටර් චෙෆ් පවුලේ සාමාජිකයකු බවට පත්ව සිටියි.


පළමු අදියරේ සාර්ථක නිමාවත් සමඟම, දෙවැනි අදියර (Season 2) සඳහා වන මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව සංවිධායක මණ්ඩලය දන්වා සිටියි. 


ශ්‍රී ලංකාවේ මීළඟ සූපශාස්ත්‍ර තාරකාව සොයා යන මෙම චාරිකාව ඉදිරියේදීත් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ දැකගත හැකිවනු ඇත.

Post a Comment

0 Comments