කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ උගන්ඩාව කේන්ද්‍ර කරගනිමින් මේ වන විට පැතිර යන ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය, ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්විය යුතු "මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්" ලෙස සලකා කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම රටවල් යුගලයේ වර්තමාන ඉබෝලා ව්‍යාප්තියට හේතු වී ඇත්තේ ‘බුන්ඩිබුග්යෝ වෛරස් රෝගය’ (BVD) බවයි.
මෙය කිසිදු නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති අතිශය දුර්ලභ ගණයේ ඉබෝලා ප්‍රභේදයකි.
ඉතිහාසය පුරා කොංගෝවෙන් සහ උගන්ඩාවෙන් ඉබෝලා වසංගත තත්ත්වයන් 20කට වඩා වැඩි වාර ගණනක් වාර්තා වී ඇතත්, මෙම බී.වී.ඩී (BVD) වෛරස් ප්‍රභේදය හමු වූ තෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
නවතම වාර්තාවලට අනුව මේ වන විට මෙම දරුණු වෛරසය ආසාදනය වූ රෝගීන් 300කට ආසන්න පිරිසක් කොංගෝවෙන් සහ උගන්ඩාවෙන් හඳුනාගෙන තිබේ.
අවාසනාවන්ත ලෙස ඉන් රෝගීන් 88 දෙනෙකු දැනටමත් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
ගෝලීය වසංගතයක්ද?
මෙම තත්ත්වය පිළිබඳව විශේෂ සමාජ මාධ්‍ය සටහනක් තබමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසස් මහතා කරුණු පැහැදිලි කර තිබේ.
ඔහු සඳහන් කරන්නේ,
මෙම වෛරස් ව්‍යාප්තිය ගෝලීය මට්ටමේ වසංගත තත්ත්වයක් (Global Pandemic) ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය කරන සාධක මෙතෙක් සපුරා නොමැති බවයි.
කෙසේ වෙතත්, මෙම රෝගය අසල්වැසි සෙසු රටවල් කරා පැතිර යාමේ ඉතා ඉහළ අවදානමක් පවතින බව ද ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.
.png)
0 Comments