ඇෆ්ගනිස්තානයෙන් දැඩි තලේබාන් නීති මාලාවක්! දැරියන්ගේ නිහඬතාව "විවාහයට කැමැත්ත" ලෙස සැලකේ


 

ඇෆ්ගනිස්තානයේ බලයේ සිටින තලේබාන් පරිපාලනය විසින් ළමා විවාහ, දික්කසාද සහ පවුල් සබඳතා සම්බන්ධයෙන් නව නීති රීති මාලාවක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මෙම නව නීති සංශෝධනවලට අනුව, වැඩිවියට පත් වූ කන්‍යා දැරියකගෙන් ඇගේ විවාහය පිළිබඳව විමසන අවස්ථාවකදී ඇය නිහඬව සිටියහොත්, එම නිහඬතාව විවාහය සඳහා දුන් "කැමැත්තක්" ලෙස සලකා විවාහය සිදු කිරීමට අවසර ලැබෙනු ඇත.

කෙසේ වෙතත්, මෙම නීතිමය ප්‍රතිපාදනය පිරිමි ළමයෙකුට හෝ මීට පෙර විවාහ වී සිටි කාන්තාවකට බලපාන්නේ නැත. 

ඔවුන් විවාහයක් සම්බන්ධයෙන් නිහඬව සිටියහොත් එය කැමැත්ත ප්‍රකාශ කිරීමක් ලෙස භාර නොගැනීමට නව නීති මඟින් වගබලා ගෙන තිබේ.

මීට අමතරව, පවුලක වයසින් බාල දරුවන් ළමා විවාහයන් සඳහා යොමු කිරීමට එම පවුලේ පියාට හෝ සීයාට පැවරෙන බලතල මෙමඟින් තවදුරටත් පුළුල් කර තිබේ. 

යම් හෙයකින් ළමා වියේදී සිදු කළ මෙවැනි විවාහයක්, අදාළ දරුවන් වැඩිහිටියන් බවට පත් වූ පසු අවලංගු කිරීමට අවශ්‍ය වුවහොත්, ඒ සඳහා තලේබාන් අධිකරණයක නිල අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර ඇත.

මේ අතර, දේශපාලන විචාරකයන් මෙම නව නීති රීති දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. 

ඔවුන් පෙන්වා දෙන්නේ, බාලවයස්කාර දරුවෙකුට විවාහයක් වැනි බරපතල තීරණයකට නිසි කැමැත්තක් ප්‍රකාශ කිරීමට තරම් පරිණතභාවයක් නොමැති බවයි.

එසේම, දැරියන්ගේ නිහඬතාවය කැමැත්තක් ලෙස අර්ථකථනය කිරීම හරහා ඇෆ්ගන් දැරියන් සතු මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම අහිමි වී යන බව ද විචාරකයෝ වැඩිදුරටත් අවධාරණය කරති.

Post a Comment

0 Comments